Uncategorized

“ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත” – (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ………)

“ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත”
(මහ රහතුන් වැඩි මඟ ඔස්සේ………)

කාන්තාවක් ලෙස උපත ලැබීමට හේතුව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීම යැයි මහ රහතුන් වැඩි මඟ ඔස්සේ නමින් දේශනා පවත්වන රාජගිරියේ අරියඥාන හිමියන් පවසති.

එසේ පවසනවා පමණක් නොව “මේක මම කියන දෙයක් නොවෙයි, බුදුරජාණන් වහන්සේයි මෙහෙම දේශනා කරන්නේ” යැයි ද කියති. එහෙත් අප දන්නා තරමට නම් භාග්‍යවතුන් වහන්සේ එවන් දේශනාවක් කර නැත. කර තිබේ නම් දන්නා ඇත්තෝ අපට එය ත්‍රිපිටකයෙන් පෙන්වා දෙත්වා.

උදාහරණයකට උන්වහන්සේ පෙන්වනුයේ ඉසිදාසි රහත් තෙරණිය ගේ කථා පුවතයි. ඒ කථා පුවත ඉසිදාසි තෙරණිය ගේ පසුගිය ජීවිත ගැන කල හෙළිදරව් කිරීමක් මිස සැමට අදාල වන්නක් නොවේ. රාජගිරියේ අරියඥාන හිමියන් මේ පුවත සියලු ලෝ වැසියන්ට එකසේ අදාල කරගෙන පටලවා ගෙන ඇත.

එකම ක්‍රියාව පුද්ගලයින් දහසක් කරන්නේ නම් එහිදී ඇතිවන චිත්තයන් එකිනෙකට සමාන විය හැකිද? ඒ ඒ චිත්තයා ගේ අඩු වැඩි කම් අනුව කර්ම විපාකය වෙනස් වන බව අභිධර්මය ගැන දැනුමක් නැති සාමාන්‍ය බෞද්ධයෙකුට වුව ද වැටහෙන කරුණකි.

ඉසිදාසි තෙරණියට වූ දේ සැමට අදාල වන්නේ නම් ඔබේ මව, බිරිඳ, සොයුරිය, දියණිය ද එසේ ම විය යුතුය.
දරුවෙකු ගේ මනසට තමන්ගේ ම මව පිළිබඳව මෙවන් වූ සිතිවිල්ලක් ඉපැද්දවීම කොතරම් හාණිකරද? එවන් ආකල්ප මත හිඳිමින් තම මවට විරුද්ධව උපදවා ගන්නා සිතිවිල්ලක් වුවද පිටකරන වචනයක් වුවද ඒ දරුවා කෙරෙහි කොතරම් බරපතල විපාක ජනිත කරවන්නක් ද?

භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව අනුව ලෞකික සම්මා දිට්ඨිය තුල “අත්ථි මාතා” යන විවරණයට අනුව මව යනු විශේෂ පුද්ගලයෙකි. මව මැරීම ආනන්තර්ය පාපකර්මයකි. ඇය පිළිබඳව ද්වේෂ සිතිවිල්ලක් හෝ ඇතිකර ගැනීම කෙතරම් හානිකරද?

එවන් වූ උත්තමාවියක් දෙස බල බලා “ඔබ කාන්තාවක් වුනේ පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමෙනුයි” කියා සිතන්නට දරුවන් පෙළඹවීම බුද්ධ පුත්‍රයකුට සුදුසු ද?

තම බිරිඳ, සොයුරිය, දියණිය දෙස බලමින් “ඔබලාට මෙසේ වුනේ පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමෙනි, අප පුරුෂයින් වුනේ මනා හැසිරීමෙනි” යි කියා පුරුෂයින් තුල මේ ඇතිකරවන්නේ මානය නොවේද? අනෙකාව පහත් කොට සිතන්නට කථා කරන්නට ක්‍රියා කරන්නට කවුරු නම් නො පෙළඹේද?

උන්වහන්සේ දේශනා කරන ආකාරයට පුරුෂයින් කාමයේ වරදවා හැසිරීම් නැති වූ කල තවදුරටත් මේ ලෝකයේ දරු උපත් සිදු විය නොහැක. මක්නිසාද ඒ පුරුෂයින් මියගොස් මීලඟ ජීවිතයේ කාන්තාවන් නො වන්නේ නම් දරුවන් බිහිවිය නොහැක. එවිට මේ ලෝකය මිනිසුන්ගෙන් හිස් වේ.

මේවා ධර්මය ද?

නුවණැත්තෝ විමසත්වා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *