Uncategorized

මහා බෝසතාණන් වහන්සේ ලොව පහළ වන කාලයේ ආර්යයන් වහන්සේලා ලොව නො සිටියේ ද?

“රාජගිරියේ අරියඥාන හිමියන් ගේ නවතම සොයාගැනීමක්…………….”

මහාබෝධිසත්ත්වයන් වහන්සේ ලොව පහළ වන කාලයේ දී ලොව කිසිදු තැනක මඟඵලලාභීන් නැතැයි “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” නමින් දේශනා පවත්වන රාජගිරියේ අරියඥාන හිමියන් පවසති.

“ප්‍රශ්ණයඃ අප බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පත්වන විට මේ ලෝකධාතුවේ කිසිදු ස්ථානයක ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත් කිසිවකු නො සිටි බව අප සාකච්ඡා කරන ලද එක්තරා පන්සිලු ම`ඵව ධර්ම සාකච්ඡාවක දී සඳහන් වුනා. නමුත් බ්‍රහ්ම ලෝකවල අනාගාමී තත්ත්වයට පත් වූ බ්‍රහ්මයින් සිටි බවට තොරතුරු තියනවා නේද ස්වාමීන් වහන්ස?

පිළිතුරඃ එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් කියනවා භාග්‍යවතුන් වහන්ස මම සිඛී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දෙවි කෙනෙක් වුනේ කියලා. නමුත් ඒ දෙවියා සෝවාන් වුනේ අපේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ.

එක් බුදුකෙනෙක් පිරිනිවන් පාලා ඊලඟ බුදුරජාණන් වහන්සේ පහළවෙන කාලය වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්න කෙනෙක් දිව්‍ය තලයක, බ්‍රහ්ම තලයක නැහැ. එහෙම කෙනෙක් දිව්‍ය තලයක, බ්‍රහ්ම තලයක ඉන්නවා නම් අපේ බෝධිසත්ත්වයන්ට අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා බෝධිසත්ත්වයිනි මේක නෙවෙයි මාර්ගය කියලා.

ප්‍රශ්ණයඃ ගරු ස්වාමීන් වහන්ස, ඝටීකාර මහා බ්‍රහ්මයා අටපිරිකර පූජා කරනවා අප බෝධිසත්ත්වයින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන අවස්ථාවේ. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයක් අනාගාමී ඝටීකාර මහා බ්‍රහ්මයාට තිබුනා නේද ස්වාමීන් වහන්ස?

පිළිතුරඃ නෑ, නෑ. ඔවැනි තැන් වලදී පුංචි පුංචි ගැටලු සහගත තැන් තියනවා. මම කොතනකවත් සූත්‍රගත ධර්මයක් වැරදියි කියලා කියන්න යන්නෙ නැහැ. ඒක වැරදි පූර්වාදර්ශයක්. එතනදි මම නිහඬ වෙන්නයි බලන්නේ. මොකද පුංචි තැනකදි අපි වැරැද්දක් තියන තැනක් හරි පෙන්නුවොත් ඒ පූර්වාදර්ශය ඔස්සේ අනෙක් සූත්‍රත් වැරදියි කියලා කෙනෙක් කියන්නත් පු`ඵවන්.

නමුත් මම නම් බුදුරජාණන් වහන්සේ උතුම් සම්මාසම්බුද්ධරාජ්‍යයට පත්වන වෙලාවේ මේ ලෝකධාතුවේ කොතනකවත් චතුරාර්ය සත්‍යය දන්න කෙනෙක් හිටියාය කියලා පිළිගන්නේ නැහැ.
(පන්සිල් ම`ඵව 39)

උන්වහන්සේ ගේ පිළිගැනීම එසේ වෙතත් බුද්ධ දේශනාව අනුව එය සාවද්‍ය අදහසක් බව මහාපදාන සූත්‍රයෙන් මනාව පැහැදිළි වේ.

මහාපදාන සූත්‍රය – දීඝ නිකාය – 116 ඡේදය

“මහණෙනි, මම් එක් සමයෙක්හි උක්කට්ඨාපුරය සමීපයෙහි වූ ශුභගවනයෙහි මහරුක් මුලැ වෙසෙමි. මහණෙනි, එකලා වැ චිත්ත විවේකයෙන් යුක්ත වූ ඒ මට “මේ දීර්ඝකාලය තුළ ශුද්ධවාසයන් හැර මා නො වුසූ විරූ අන් සත්වාවාසයෙක් වේ, එය සුලභරූප නො වේ (දුර්ලභ ය). ශුද්ධාවාසි දෙවියෝ යම් තැනෙක ඇද්ද එ තැනට එළඹෙන්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි ඉක්බිති මම් බල ඇති පුරුෂයෙක් යම් සේ හැකුලූ හෝ අත දිගු කරන්නේ ද දිගු කළ හෝ අත හකුලන්නේ ද එසේ ම උක්කට්ඨායෙහි ශුභගවනයෙහි වෘක්ෂරාජ මූලයෙහි අතුරුදහන් වැ අවිහ දෙවියන් අතුරෙහි පහළ වීමි.

මහණෙනි, ඒ දෙව්නකාහි නොයෙක් දහස් ගණන් දෙවියෝ නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා කරා එළැඹුණහ. එළැඹ මා වැඳ එක් පසෙක සිටියහ. මහණෙනි එක් පසෙක සිටියාවූ ම ඒ දෙවියෝ මට මෙය කීහඃ

“නිදුකාණන් වහන්ස යම් කලෙක භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද ඒ මෙයින් එක්අනූ වන කප ය.

නිදුකාණන් වහන්ස ඒ අපි විපස්සී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන් හි කාමච්ඡන්දය දුරු කොට මෙහි උපන්නමෝ යැ යි (සැළ කළහ)….
(මහාපදාන සූත්‍රය – දීඝ නිකාය)

බුද්ධ භාෂිතය අනුව රාජගිරියේ අරියඥාන හිමියන් පවසන දෑ විමසා බලන විට උන්වහන්සේ ගේ දේශනාව සාවද්‍ය දේශනාවක් බව මෙයින් ප්‍රකට වේ.

එපමණක් නොව උතුම් වූ ත්‍රිපිටකය දෝෂ සහිත යැයි පෙන්වන්නට ගන්නා උත්සාහය ධර්මකාමීන්ට නම් අප්‍රසාදයට ම හේතු වනු නො අනුමානය.

බණමඩුව………….

 

මහාපදාන සූත්‍රය – දීඝ නිකාය

 

වීඩියෝවට මෙතනින් පිවිසෙන්න…………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *