Uncategorized

“බුද්ධපූජාව මහත්ඵල වීමට නම්…..”

“බුද්ධපූජාව මහත්ඵල වීමට නම්…..”

මහ බෝසතාණන් වහන්සේ විසින් තමන් වහන්සේ ගේ මව කර මත තබාගෙන මහ සයුර තරණය කොට එතුමිය ගේ ආශිර්වාදය ද, බ්‍රහ්මදේව නම් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ප්‍රථමවරට මනෝප්‍රනිදානය ද පවත්වා එතැන් පටන් විසිඅසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා ජය ශ්‍රී මහා බෝ මැඬ දී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කොට “අනේකජාතී සංසාරං” යනාදි වශයෙන් සිංහනාද පවත්වා සම්‍යක් සම්බුද්ධත්වයෙන් අභිෂේක ලද්දා වූ බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, දේවාතිදේව වූ, අපට ශාස්තෲ වූ භාග්‍යවතුන් වහන්සේ තම එකම පිහිට කොට ගෙන, එකම පිලිසරණ කොට ගෙන ඒ මඟ යන්නෝ බෞද්ධයෝ නම් වෙති.

එසේ පිහිටකොට ගත්තාය යි කීවද ශාස්තෘන් වහන්සේ ගේ තරම යම් පමණකට හෝ හඳුනා ගත් බෞද්ධයන් වර්තමානයේ එපමණ නොවේ යැයි බොහෝ දෙනකුගේ වචනවලින් ද, හැසිරීමෙන් ද පෙනෙන්නට තිබෙන්නේ ය. ඉන් එකක් වනුයේ දිනපතා කරන බුද්ධපූජාව ය.

සමහරෙක් බුද්ධපූජාවන් (ආහාර හා ගිලන්පස සහිත මල්, සුවඳ පූජාවෝ) පූජා කරනුයේ “තමන් භාග්‍යවතුන් වහන්සේට අනුග්‍රහයක් කරන්නේය” යි සිතාගෙන මෙනි. නිවසට පැමිණියෙකුට තේ කෝප්පයකින්, සිසිල් බීම වීදුරුවකින් සංග්‍රහ කරන්නාක් මෙන් නිවසේ වැඩ සිටින බුදුපිළිම වහන්සේ වෙත ආහාර ගිලන්පස පූජා කරනුයේ “මා නැත්නම් බුදුහාමුදුරුවෝත් අද බඩගින්නේය” යි යන අදහසිනි. බොහෝ විට සවස් කාලයේ තේ පානයට තම පවුලේ අය වෙනුවෙන් පානයන් සැකසෙන අතරේ බුද්ධපූජාවට ද ටිකක් දමා ඔහේ ගෙනගොස් පූජාසනයේ තැන්පත් කෙරෙනුයේ පුරුද්දට මෙනි. කිසිදු ශ්‍රද්ධා ගෞරව සම්ප්‍රයුක්ත බවක් හෝ විශේෂයෙන් ඒ උදෙසා සූදානම් වීමක් එහි නැත.

තථාගතයන් වහන්සේ ජීවමාන ය. විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරා බොහෝ වෙහෙස ගෙන පැමිණ වදාළා වූ සම්බුද්ධ රාජ්‍යය පවතිනුයේ වසර 45 ක් පමණකැයි යමෙක් අදහස් කරන්නේ නම් එය මහත් වූ ම හාස්‍යයකි. එය බුද්ධ මහිමය, බුද්ධ ශක්තිය, බුද්ධ කෘත්‍යය හෑල්ලුවට ලක් කිරීමකි. පිරිනිවන් මඤ්චකයේ සිට අනාගතය බලා වදාළා වූ තථාගතයන් වහන්සේ විසින් අනාගතයෙහි ගෞතම බුද්ධ ශාසනයේ පමණක් නොව මතු බුද්ධ ශාසනයන් හි පවා තමන් වහන්සේ උදෙසා කරන්නා වූ සිය`ඵම පූජාවෝ පිළිගෙන වදාළහ. ඔබේත් මගේත් මේ මොහොතේ ඇතිවන චිත්ත පරම්පරාවෝ පමණක් නොව සිය`ඵ ලෝකවල සිය`ඵ සත්ත්වයන් ගේ සිත් ද දැන දැක වදාළහ. නිවන් දැකීමෙහි අවංකවම නිරතවන යෝගාවචරයෙකු හට යම් කමටහනක් වුවමනා වෙත් නම්, එය විසඳා ගැනීමට අන් මඟක් නොමැති නම් එවන් අවස්ථාවන්හි දී ඒ යෝගාවචරයා ඉදිරියේ පෙනී සිටීමට තථාගතයන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේදී ම අධිෂ්ඨාන කොට වදාළ බව පොතපතෙහි සඳහන් වනවා පමණක් නොව එසේ පෙනී සිටි අවස්ථාවන් පිළිබඳව ද අසන්නට ලැබී ඇත.

ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ ට වන්දනමාන කිරීම, පුදපූජා පැවැත්වීම වර්තමානයේ බොහෝ දෙනකුට ගැට`ඵවක්, විමතියට කාරණයක් වුවත් තථාගත පරිනිර්වාණයෙන් පසුව ද ධර්ම භාණ්ඩාගාරික ආනන්දයන් වහන්සේ ජීවමාන සංඥාවෙන් සිය`ඵම උපස්ථානකෘත්‍යයන් ආනන්ද හිමියන්ගේ පිරිනිවීම තෙක් ම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

“බුද්ධපූජාවක් මහත්ඵල වන්නට පූජා කරන වස්තුවෙහි මිල අධික බව ද හේතුවක් වන්නේ යැයි” සමහරුන් ගේ මතයකි. අප අසවල් අසවල් මිල අධික, සුගන්ධයෙන් අධික දෑ පූජා කෙළේය යි උද්දාමයට පත් වී “සියල්ල හරිය” යි සතුටු වෙති. පූජා වස්තුව අනුවත් මහත්ඵලය තීරණය වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා මනුලොව කරන කිසිදු ආහාරපාන පූජාවක් මහත්ඵල වන්නට හැටියක් නැත. මක්නිසාද යත් තුන්ලෝකාග්‍ර වූ, දෙවියන්ටත් දෙවි වූ, බඹුන්ටත් බඹු වූ තථාගතයන් වහන්සේ ගේ තත්ත්වයට ගැලපෙන ආහාරයක් පානයක් මනුලොව තබා සදෙව්ලොව ද නැති හෙයිනි. අප විසින් සකස් කෙරෙන්නා වූ පානයන් මහත් ප්‍රණීතය යි අප සිතා සිටිය ද තථාගතයන් වහන්සේ ගේ තත්ත්වය හා සලකා බැලීමේ දී එය “පූතිමුත්ත භේසජ්ජයක්” තරම් වත් නො වටින්නේ ම ය.

නවද්වාරයකින් නිරන්තරයෙන් අශුචි වැගිරෙන්නා වූ ශරීරයක් උරුම වූ නෙක නෙක මනුෂ්‍යයින් ගෙන් නෙක නෙක දුර්ගන්ධයන් හමන්නේය. එවන් ශරීර හිමි අප විසින් සකස් කෙරෙන්නා වූ ආහාරයන් ප්‍රණීත ය, මධුරය යි අප සිතා සිටිය ද භාග්‍යවතුන් වහන්සේ හා සැසඳීමේ දී එය “ලාදුරු රෝගියකු විසින් පිළියෙල කළ ආහාරයකට” දෙවනි නො වන්නේය. එසේ හෙයින් කුමක් හෝ පූජා කර පූජා වස්තුව ගැන සිතා හෝ තම තමන්ගේ තත්ත්වය ගැන සිතා උද්දාමයට පත් වීම ශාස්තෲන් වහන්සේ ගේ තරම නො දන්නා හෙයින් ඇති වන්නා වූ අනතුරෙකි.

භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වර්තමානයේ පවතින අජීවමාන සංඥාව නිසාවෙන් ම බොහෝ බෞද්ධයන් හට පූජාවේ ඵල නෙලා ගැනීම දුෂ්කර වී ඇතිවාක් පමණක් නොව එහි මුඛ්‍ය පරමාර්ථයෙන් අපගමනය වන්නට ද එය ම හේතුවක් වී ඇත. “අප විසින් පූජා පවත්වනුයේ අතීතයේ වැඩ සිටි අයෙකුට ය” යන අදහස ඉදිරියට එත් ම පූජාවේ ඇති ජීවය මු`ඵමනින් ම බිඳ වැටෙන්නේය. දෙන්නන් වාලේ මොනවා හෝ දී ඇඟ බේරා ගන්නට සිතෙන්නේය. නො එසේ නම් “දෙමාපියන් මේ මේ වෙලාවන් වලදී මේ මේ දේ කෙළේ ය, එහෙයින් ඒ චාරිත්‍රය කඩ නො කොට අප ද පවත්වා ගනිමු ය” යන අදහසින් කරති. එහි ඇති හරය ඇද වැටී බුද්ධපූජාවත් දවසේ කටයුතු අතර එකක් පමණක් වන්නේය.

ජීවමාන බුදුන් වහන්සේ ගේ අවසරයකින් තොරව කිසිවක් ජීවමාන කාලයේ පූජා වන්නේ නැත. ප්‍රථමයෙන් උන්වහන්සේ ගේ ශ්‍රී පාදයන් තෙවරක් වත් වන්දනා කොට පූජාවට අවසර ගන්නේය. තථාගතයන් වහන්සේ යම් ඉල්ලීමක් පිළිගනුයේ නිහඬ වීමෙනි. පූජාවන් ඉවසූ බව දත් ශ්‍රාවකයා ඉන් පසුව ආහාර ගිලන්පස ආදි පූජාවන් සිදු කරන්නේය. වළඳා අවසන් වූ පසුව පූජාවන් අස් කරනුයේ ද අවසර ගැනීමෙන්ම ය.

“ශාස්තෲන් වහන්සේ දැන් නැතය” යි සිතා ගත් තැන ම සිතෙන සිතෙන දෙය හිතු හිතු වෙලාවට පූජා කරන්නේය. දමා ගසන්නාක් මෙන් පූජාසනය මත දමා හැරී යන්නේය. හිතුනු හැටියේ ම පැමිණ බලෙන් ම පසුව ඒ පූජාවන් ඉවත් කරන්නේ ය.

එහෙයින් “චේතනාව ඇත්නම් මොනවා නැතත් කමක් නැතැයි” නො සිතා බෞද්ධයෝ මේ පිළිබඳවත් සිතන්නේ නම් මැනවි.

මෙත් සිතින්……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *