Uncategorized

“ශාසනය රැකීම හාත්පසින් ම විය යුතුය……..”

“ශාසනය රැකීම හාත්පසින් ම විය යුතුය……..”

මේ පිළිබඳව බොහෝ දෙනා දන්නා බුද්ධ දේශනාවක් වනුයේ “විනයෝ නාම සාසනස්ස ආයු – සාසනයේ ආයුෂය නම් විනයයි” යන්න ය.

භික්ෂූන් වහන්සේලා ශික්ෂාකාමී වන තුරු බුද්ධ ශාසනය පවතින්නේ ය. යම් දිනෙක ලෝකයෙහි ම උපසම්පදා භික්ෂූන් වහන්සේලා සතර නමකට අඩු වූ කල, පස් නමක් නොමැතිව අ`ඵතින් අයෙක් පැවිදි නො කළ හැකි හෙයින් ඉන් ඉදිරියට අලුත පැවිදි වීම් නවතී. මේ සතර නම ම අපවත් වූ පසුව ශාසන අන්තර්ධානය සිදුවන්නේ ය.

එසේ නම් විනය ශාසනයේ ආයුෂය වන හෙයින් විනය රකින්නට උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව සිටිය යුතුය. භික්ෂූන් වහන්සේලා ගේ පරිහාණියට හේතුභූත වන කාරණා පිළිබඳව නිසි අවධානයකින් සිටීමෙන් හා ඒවාට වැට බැඳීමෙන් මිස ධර්මය පමණක් උගැන්වීම ප්‍රමාණවත් නො විය හැකිය.

පසුව සාකච්ඡා කෙරෙන එවන් මාතෘකාවන් පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් නොමැතිව ගිහියා විසින් හුදෙක් පැවිද්දා සිල් රක්නා තුරු හා ශාසනයේ චිර පැවැත්ම ආරක්ෂා කර දෙන තුරු බලා සිටීමත් හුදෙක් අර්ථ විරහිත දෙයක් විය හැකිය.

01. වර්තමාන භික්ෂූ අධ්‍යාපනයේ පවත්නා අඩුලුහුඬුකම් හා වානිජකරණය

අතීතයේ පැවති පිරිවෙන් ක්‍රමය වෙනුවට මුදල් ඉපයිය හැකි විෂයයන් පමණක් උගන්නා, ශ්‍රද්ධා බුද්ධි හීන පැවිදි පරම්පරාවක් බිහිවෙමින් පවත්නා බව වර්තමානයේ ඉතාමත් පැහැදිලි කරුණකි. දිනෙන් දින මතුවෙමින් පවත්නා අධර්මයන් ගේ වේගයේ පමණට එවන් දුර්මත බිඳලා ප්‍රාතිහාර්ය පා ධර්මය දේශනා කොට ඉස්මතු කළ හැකි ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා ගේ වර්ධනය තරම් නොවේ. ධර්ම රත්නය පිළිබඳව ව්‍යක්ත බවක් හෝ පරිචයක් නොමැති හෙයින් “දුර්මත බිඳින්නට ගොස් තම ප්‍රතිරූපයට හාණි වෙතැයි” සිතා සැඟවී සිටිති. එහෙයින් ම හතු පිපෙන්නාක් මෙන් දිනෙන් දින “මම බුද්ධ ය, මම රහත්ය” යි කියන්නවුන් ගේ වර්ධනයක් හා ඒ පසුපස අන්ධයන් සේ ගමන් කරන්නා වූ විමංශනශීලී නොවූ ගිහි පැවිදි පිරිස් ද බොහෝ ය.

බුද්ධරත්නය – ධර්මරත්නය – සංඝරත්නය කෙරෙහි අසීමිත ශ්‍රද්ධා භක්තියකින් හෙබි අතීත සංඝ පරම්පරාව මේ වනතෙක් මේ ධර්මරත්නය කිසිදු වෙනස්කිරීමකින් තොරව රැකගෙන ආහ. එහෙත් අද වන විට ශ්‍රද්ධාව කුමක් දැයි සමහර විට පැවිද්දන්ට කියා දෙන්නට ගිහියන්ට සිදුව ඇති තරමට අප ගේ පැවිදි පරම්පරාව ගුණහීන වී ඇති බව නො කිවමනාය.

02. නුවුවමනා පමණට ගිහි පැවිදි සම්බන්ධය

“චන්ද්‍රෝපම උපමාවෙන්” භාග්‍යවතුන් වහන්සේ පැවිද්දා විසින් කෙසේ ගිහියා ඇසුරු කළ යුතුදැයි දක්වා තිබේ.
චන්ද්‍රයා යම් සේ අහසේ හිඳිමින් ගම එලිය කරනු මිස එක් එක් ගැමියා ගේ ගෙයින් ගෙට යන්නේ නොවේ. එමෙන්ම පැවිද්දා ද ගිහියාට ඉහලින් සිටිමින් ගිහියා විසින් කරනු ලබන චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය වෙනුවෙන් නිවන් පිණිස ප්‍රත්‍යුපකාර කරනු විනා “ගිහියා ගේ උණට හෙම්බිරිස්සාවට දුවගෙන ගොස් දැන් සනීපද? දැන් සනීපදැ යි” විමසීමක් නැත. එසේ කරන්නට ගිය තැන ම ගිහි පැවිදි පරතරය අවම වී පැවිද්දා ගිහියා ගේ ඥාතියෙක් හිතවතෙක් ගේ මට්ටමට පහත වැටෙන්නේය. එතැන් පටන් ගිහියා තුල පැවිද්දා කෙරෙහි වන “ලොවට අනුත්තර පින් කෙත” ය යන ගෞරවය හීන වී නුවුවමනා අයුරින් භික්ෂූන් වහන්සේලා හා කටයුතු කරන්නට ගොස් අත පු`ඵස්සා ගෙන ගිහියාත් පැවිද්දාත් යන දෙදෙනා ම නිරයට මඟ පාදා ගනිති.

විශේෂයෙන් ම කාන්තාවන් හා කටයුතු කිරීමේ දී විශේෂ විනය නීති මාලාවක් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය තුල ම පණවා තිබෙන හෙයින් භික්ෂූන් වහන්සේ ගේ එවන් විනය පද්ධතීන් ට හානි නො වන ලෙස කටයුතු කිරීමේ වගකීම ගිහියා විසින් ද දැනගත යුතුය. අතීතයේ මෙවන් කරුණු පිළිබඳව ගිහි පින්වතුන් මනාව අවබෝධයෙන් යුක්තව කටයුතු කළ හෙයින් හානිය අවම කරගෙන තම තම සීමාව තුල වෙසෙන්නට හැකිවිය. එහෙත් වර්තමානයේ භික්ෂූ විනය පිළිබඳව අල්පමාත්‍රයක් හෝ නො දත් බොහෝ බෞද්ධයින් වෙසෙන හෙයින් ඔවුන් කළයුත්ත නො කළයුත්ත නො හඳුනති. එයට මුහුණ දීමේ දී සමහර විට පැවිද්දා අපහසුතාවයට පත්වන අතර ම සමහර පැවිද්දෝ එය අපහසුවක් සේ නො සලකා ලිහිල් කර ගැනීම තුලින් සීමාව බිඳගෙන පමණට වැඩියෙන් ගිහියන් හා සම්බන්ධය පවත්වන්නට කටයුතු කරන්නෝ ය.

03. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා විසින් සාමනේර පැවිද්දන් ගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම

පැවිද්ද යනු යමෙකුට සංසාරයේ ලැබෙන්නා වූ අතිදුර්ලභ වූ අවස්ථාවකි. පැවිදි වන විට චීවරය ඉල්ලා ගන්නේ ද “සිය`ඵ දුකින් අත මිදීම නම් වූ නිර්වාණය ශාක්ෂාත් කරගනු වස් මේ චීවරය දෙන” ලෙස ඉල්ලමිනි.

එසේ පැවිදි කරගන්නා නවක භික්ෂූන් වහන්සේලා කෙරෙහි නායක හිමිවරුන් සැමවිටම නිවැරදිව පිළිපදින්නේ නොවේ. සමහර විටෙක කුඩා දරුවන් පැවිදි කරගනුයේ පන්සලේ වැඩ ටික කරවා ගැනීමට ය. නො එසේ නම් තමන් ට මහ`ඵ වූ විට සලකවා ගන්නට ය. සමහර විහාරස්ථානයන් හි නවක භික්ෂූන් වහන්සේලා මැණික් ගරනු අප සියැසින් ම දැක තිබේ.

පැවිදි කිරීමට ඇති කලබලය ඉන් පසුවත් ඒ ලෙසින් ම ඒ උන්නාන්සේලාට නිසි මඟ පෙන්වීම වෙනුවෙනුත් යොදන්නේ නම් එය අගය කළ යුත්තකි. එහෙත් බොහෝ විට සිදුවන්නේ තම වගකීම ඉන් පසුව අමතක වීමයි. ඒ ආකාරයෙන් දරදිය ඇදීම උදෙසා මහණ කරගන්නා සාමනේර පැවිද්දෝ එලෙසින් ම කල් ගත කොට අවසන හිස් පුරුෂයන් ලෙස සමාජයට මහත් හානියක් කරන්නාහ. කය පැවිදි කළ ද සිත පැවිදි කර ගැනීමට ඉඩ හසරක් නො ලද හෙයින් කිසිත් කරකියා ගත නො හැකිව ධර්මය එහෙන් මෙහෙන් අතපත ගා මොන මොනවා හෝ කියා විලිලැජ්ජාව වසා ගන්නවා හැර කළ හැකි අන් කිසිවක් උන්නාන්සේලාට ඉතිරි වන්නේ නොවේ.

04. මිල මුදල් පරිහරණය

බොහෝ විහාරස්ථානයන් හි මිල මුදල් පරිහරණය නිබඳව සිදුවන්නකි. දශ ශීලය සමාදන් වූ පින්වතෙකුට වුව ද ජාතරූපරජතය නො කරන්නැයි පණවා තිබිය දී වර්තමානයේ මිල මුදල් පරිහරණය නො කරන උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නොමැති තරම් ය.

මිල මුදල් නො මැතිව වර්තමානයේ විහාරස්ථානයක කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රායෝගික ගැට`ඵ ද නැතුවා නොවේ. අතීතයේ ඒ සඳහා විහාරස්ථානයේ කැපකරු මහතෙකු යොදවා ඒ මහතා ලවා ඒ කාර්යභාරය කරවා ගත් බව අප දනිමු. අසවල් අසවල් පුද්ගලයාට මෙසේ මෙසේ දෙන්නැයි නො කිව්වද, සිදුවිය යුත්තේ අසවල් කාර්යය යි උපදෙස් දුන් විට ඒ කටයුත්ත සඳහා ලැබුනු මුදලක් මනාව පරිහරණය කිරීමේ සමත්කමක් ඒ කැපකරුවන් සතුව තිබූ හෙයින් භික්ෂූන් වහන්සේත් වරදට හසු නො වී වුවමනාව ද ඉටුකර ගත හැකිව තිබුනි.

සමහර විහාරස්ථානයන්හි නායක ස්වාමීන් වහන්සේලා සාමනේර හිමිවරුන් හට වියදම සඳහා මුදල් ලබා දෙති. එය ම “සියදිවි නසාගන්නට ආයුධයක් දුන්නා හා සමාන” ය. මේ ලැබෙන මුදල එක්කෝ එක් වරම අභිමත දෙයකට වැය කරති. නො එසේ නම් එකතු කරගෙන සිට මිල අධික යමක් ගන්නට වැය කරති.

සමහරෙක් ජංගම දුරකථන මිලට ගෙන නො මනා දෑ නරඹති. එක්කෝ නො මනා පුද්ගලයන් ගේ ඇසුරට වැටෙති. තවෙකෙක් ඒ මුදලින් මත්පැන් මත්කුඩු මිලට ගනිති. නො එසේ නම් වෙනත් අභිමත කාන්තාවක් උදෙසා වැය කරති.

තවත් සමහර විහාරස්ථානයන් හි සාමනේර හිමිවරුන් වෙනුවෙන් බැංකු ගිණුම් ආරම්භ කොට එහි මුදල් තැන්පත් කරති. එය “පනින රිලවාට ඉණිමං බැඳීමක්” වැනිය. මෙහි මෙපමණ මුදලක් අසවල් දිනට එක්රැස් වන්නේය යි දැනගත් නවක පැවිද්දා අභිමත ප්‍රමාණය එක් වූ පසුව චීවරය ගලවා තබා මුදල් රැගෙන උපැවිදි වෙති.

ඉහත සඳහන් කරන ලද්දේ කිවයුතු බොහෝ දෑ අතුරෙන් ඉතා ස්වල්පයක් පමණි.

මේවා මෙසේ සිදුවද්දී ඉන් අයුතු ප්‍රයෝජන ගන්නෝ අන්‍යාගමිකයන්ටත් වඩා බෞද්ධ වේශධාරී අධර්මවාදීන් ය. ගමේ පන්සලෙන් මෙසේ කටයුතු සිදුවන කල ඒ අඩුව පිරවීමේ නාමයෙන් අධර්මවාදීහු කළඑලි බසිති. “ගමේ පන්සලේ අසවල් අසවල් වරද ඇත, අප නම් එසේ නැතය” යි කියමින් “ශාන්තුවරයන් සේ සිල් කැට හල හලා” පැමිණ ගමේ විහාරස්ථානයට ඇදෙන කිහිප දෙනාත් මිථ්‍යාදෘෂ්ටියට ඇදගනුයේ “ගහෙන් වැටුනු මිනිහාට ගොණා ඇන්නා” සේ ය.

එවිට ගමේ පන්සලට සිදුවනුයේ “අසවලා අපේ පිරිස කඩාගත්තාය” යි මැසිවිලි නැඟීම හැර අන් කුමක්ද?

“බෞද්ධයා රකින්නේය” යි කියමින් අඬබෙර ගසමින් බිහිවන්නා වූ විවිධ සංවිධානයන් විසින් ශාසනස්ථිතිය උදෙසා කිනම් කාර්යභාරයක් සිදුකරන්නේ දැයි යන්න ද විමසිය යුත්තකි.

මෙත් සිතින්….

(මෙහි යම් දොසක් ඇතොත් අනුකම්පාවෙන් පෙන්වා දෙත්වා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *