Uncategorized

“මහමෙව්නා අසපුවෙන් වන ඔබ නො දත් ශාසන විනාශය………….”

“මහමෙව්නා අසපුවෙන් වන ඔබ නො දත් ශාසන විනාශය………….”

අප විසින් වරින් වර ශාසන නාශකයින් පිළිබඳව සහේතුකව කරුණු දක්වද්දී මහමෙව්නා භාවනා අසපුව ද ඒ ලයිස්තුවේ සිටීම පිළිබඳව බොහෝ අයෙක් මවිතයට පත් වෙති. “මෙය නම් වැරදීමකි, ඒ ස්ථානය එසේ නොවේ” යැයි කියා “නරක” ලයිස්තුවෙන් ඉවත් කර “හොඳ” එකට දමන්නට යැයි අපට ඉල්ලීම් කරති.

ශ්‍රාවකයාගේ කාර්යභාරය පිළිබඳව නිසි වැටහීමක් නොමැති වර්තමාන නාමික බෞද්ධයන් ශාසනයේ උන්නතිය උදෙසා යැයි කියා කරන්නා වූ දෙයින් ම ශාසනය විනාශයට මං පෑදෙති. එහෙයින් ම චීවරයක් පටලවා ගැනීම ධර්මය විකෘති කිරීමට බලපත්‍රයක් බවට වර්තමානයේ පත්ව තිබීම ශෝචනීය ය.

මහමෙව්නා අසපුව විසින් පහත දැක්වෙන ධර්ම විකෘතීන් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා පමණක් නොව ලක්ෂ දහයකට පහලොවකට ආසන්න තම ශ්‍රාවකයින් ලවා මේ මිසදිටු ගන්වා ඔවුන් අසපුව වෙනුවෙන් “මරාගෙන මැරෙන්නට වුවත් සූදානම්” තත්ත්වයකට මානසිකව විකෘති කර තිබේ. එහෙයින් ම එම ආයතනයේ ශ්‍රාවකයින් හා සහේතුකව එවන් ධර්ම විකෘතීන් සාකච්ඡා කිරීමට යාමේ දී එක්කෝ ඔවුන් අපට සාවද්‍ය චෝදනා කරති. නො එසේ නම් අපව බ්ලොක් කර පැන යති.

එහෙයින් කළණ මිතුරු Dilum Rathnayaka ගේ පිටුවෙන් උපුටා පහත ශාසන විනාශයන් මෙසේ සාරාංශගත කරන්නට අප අදහස් කෙළේ සැබවින් ම භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප නො කර නිවන් අරමුණු කරන්නා වූ අසපු ශ්‍රාවකයෙක් හෝ අසපුව ගැන කිසිත් නො දන්නා නවකයෙක් වෙත් නම් ඔවුනට යම් වැටහීමක් ගැනීමට හා කල්ප ගණනක් නිරයට ගෙන යන්නා වූ ශාසන විනාශයන් ට දායක නො වී තම සුගතිය සාදා ගැනීමට කරන උපකාරයක් ලෙස ය.

පහත දැක්වෙන සියල්ල සහේතුව බවත් ඕනෑම විටෙක සාක්ෂි සහිතව පෙන්විය හැකි බවත් අප වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.

01. සූත්‍ර පිටකයේ සූත්‍ර විශාල ප්‍රමාණයක් තම මතය සනාථ කිරීම උදෙසා වෙනස් කිරීම.

02. සූත්‍ර පරිවර්තනය මුවාවෙන් අවුරුදු 2500 කට වැඩි කාලයක් දිවි හිමියෙන් රැකගෙන ආ සූත්‍ර දේශනා විකෘති කිරීම.

03. විනය පිටකයේ කොටස් ප්‍රතික්ෂේප කිරීම.

04. සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් හරි අඩක් වන අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම.

05. අභිධර්මයට ගැරහීම.

06. අභිධර්මය මිනිසුන්ට නොව දෙවියන්ට දේශනා කළ එකකැයි ද, එය වටහා ගත හැක්කේ දෙවියන්ට නිසා එසේ දෙවියන් ට දේශනා කළ බව ද, මිනිසුන්ට වැටහෙන්නේ සතර සතිපට්ඨානය පමණක් බව ද කියමින් භාග්‍යවතුන් වහන්සේ ගේ පරම ගම්භීර පරමාර්ථ දේශනාව ප්‍රතික්ෂේප කරවන මානසිකත්වයක් තම ශ්‍රාවකයින් තුල ඇති කරවීම.

07. සූත්‍ර පිටකයේ පවා “අභිධර්මය” යැයි කියා සඳහන් වන තැන් වල පරිවර්තනය වෙනස් කර එයට අභිධර්මය යැයි නො කියා “ගැඹුරු ධර්මය” යි කියා විකෘති කිරීම

08. අභිධර්මයේ වචන අඩංගු සූත්‍ර දේශනා වල එම වචන ඉවත් කර පරිවර්තනය කිරීම.

09. ධර්මය විකෘති කර දේශනා කිරීම.

10. සමථ විදර්ශනා භාවනාවන් විකෘති කර දේශනා කිරීම.

11. ශාස්තෲන් වහන්සේට සහ රහතන් වහන්සේලාට අපහාස – නිග්‍රහ වන ආකාරයේ පිළිම නෙලීම.

මෙයට අමතරව සූත්‍ර විකෘතීන් කිහිපයකට උදාහරණ පහතින් දක්වන්නෙමු.

01. සංයුත්ත නිකාය තෙවන භාගය – බීජ සූත්‍රය

මහණෙනි, රූපයට පැමිණ සිටුනා කර්ම විඥානය රූපය පිහිට කොට සිටුනේද…. විපුලත්වයට පැමිණෙයි. මහණෙනි, වේදනාවට හෝ පැමිණි, මහණෙනි සංඥාවට හෝ පැමිණි, මහණෙනි සංස්කාරයට හෝ පැමිණි කර්ම විඥානය….

අසපු පරිවර්තනයේ හෝ ඉවත්කර ඇත. එසේ කිරීමෙන් විඥානය බැසගැනීමට රූප වේදනා සංඥා සංඛාර හතරම අවශ්‍ය යැයි ප්‍රකාශ කරයි. මින් උත්සාහ කරනුයේ අරූප ලෝකය තුල සියුම් රූපයක් ඇති බවටත් අසඥ ලෝකයේ සියුම් විඥානයක් ඇති බවටත් යන තම මතය තහවුරු කිරීමයි.

02. සංයුත්ත නිකාය තෙවන භාගය – උපය සූත්‍රය

එහිදී ද මෙය ම කර ඇත. මෙහි උත්සාහය වන්නේ ද අරූප ලෝකයේ සියුම් රූපයක් ඇතැයි යන තම මතය තහවුරු කිරීමට ය.

03. සංයුත්ත නිකාය තෙවන භාගය – උත්පාද සූත්‍රය

එහිදී ද උත්සාහ කරන්නේ අරූප ලෝකයේ සියුම් රූපයක් ඇතැයි යන තම මතය තහවුරු කිරීමට ය.

04. අංගුත්තර නිකාය – පඨම නාථකරණ සූත්‍රය

එම සූත්‍ර දේශනාවේ දී අන් අයට ධර්මය දේශනා කරනු කැමැත්තා අභිධර්මය කැමැති විය යුතුය යනුවෙන් සඳහන් වේ.

අසපු පරිවර්තනයේ අභිධර්මය යන්න ඉවත් කර ඇත. හේතුව ඉතාම පැහැදිළි ය.

05. දුතිය නාථකරණ සූත්‍රය

මේ බුද්ධ ශාසනයේ අනාථ නො වීමට නම් අභිධර්මය කැමැති විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබේ.
අසපු පරිවර්තනයේ දී අභිධර්මය යන්න ඉවත් කර ඇත. හේතුව ඉතාම පැහැදිළි ය.

06. මජ්ක්‍ධිම නිකාය – සච්ච විභංග සූත්‍රය

“මරණය” විස්තර කිරීමේ දී බුද්ධ ජයන්ති පරිවර්තනයේ ඇති “ජීවිතින්ද්‍රියයෙහි උපච්ඡේදය” යන අසපු පරිවර්තනයේ දී ඉවත් කර ඇත. එයට හේතුව මෙම “ජීවිතින්ද්‍රිය යන්න අභිධර්මයෙන් තොරව විස්තර කළ නො හැක්කක්” වන හෙයිනි.

එමෙන්ම මේ කොටසේ ම එන “ස්කන්ධයන්ගේ බිඳී යාම” යන්න අසපු පරිවර්තනයේ “උපාදානස්කන්ධයන්ගේ බිඳී යාම” යනුවෙන් වෙනස් කර ඇත.

07. චූල වේදල්ල සූත්‍රය

සංඥා වේදනා චේතසික ලෙස දක්වා ඇති නිසා එහිදී මුන්නාන්සේ අසරණ වී වෙන මොනවාදෝ දෙයක් කියා ඇත.

සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමී දම් පුරමින් තථාගතයන් වහන්සේ ලොවට ධර්මය දේශනා කොට වදාළේ ද, අපේ ම සංඝ පීතෘන් වහන්සේලා එය ජීවිත පරිත්‍යාගයෙන් මෙතෙක් කලක් රැකගෙන ආයේ ද අපට හරි වැරදි බලන්නට නොවේ, එතෙර වන්නට ය.

බුද්ධ දේශනාවේ එක් අකුරක් හෝ බැහැර කරන්නා හට ශ්‍රද්ධාව පිහිටන්නට හැටියක් නැත. මක්නිසාද යත් ප්‍රතික්ෂේප කරන්නට නම් භාග්‍යවතුන් වහන්සේට වැඩි දැනුමක් අවබෝධයක් බැහැර කරන්නා හට තිබිය යුතු වීම ය. ශ්‍රද්ධාවෙන් තොරව කොතරම් උත්සාහ කළ ද නිවන් මඟෙහි පියවරක් හෝ ඉදිරියට යා නො හැකිව අවසන කාලය නාස්ති කරගෙන බෞද්ධ යැයි සිතා සිටීමක් පමණක් ම වනු ඇත.

ඉතා දුර්ලභව ලැබුනු බුද්ධ ශාසනයේ ඵල නෙලා ගනු වෙනුවට ඉදිරි පරම්පරා ගණනකට ශාසනය අහිමි කර මතු බුද්ධ ශාසන ගණනාවක දී බුදුබණ පදයක් නො ඇසෙන තැන් වල උත්පත්තිය සකස් කර ගැනීමට ද, භාග්‍යවතුන් වහන්සේලා සම්මුඛ වුව ද ශ්‍රද්ධා භක්තියක් තම චිත්ත සන්තානයේ ඇති නො වන්නට ද, චුන්ද සූකරික මෙන් ජේතවනාරාමයේ අල්ලපු වැටේ සිටිය ද භාග්‍යවතුන් වහන්සේ එහි නො වැඩීම මෙන් බුද්ධ ශාසනයෙන් බැහැර කොට ප්‍රතික්ෂේප කළ මළකුණක් වන්නට ද හේතු සකස් කර නො ගන්නා මෙන් මේ පිළිබඳව මෙතෙක් කිසිදු විමසීමක් නො කළ පින්වතුන් ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ලිපිය අතිශයින් දීර්ඝ වන හෙයින් මෙහි දක්වන ලදුයේ ඉතාමත් අල්පයක් පමණක් බවත් පෙන්වීමට තව බොහෝ ඇති බවත්, ඒ සියලු විකෘතීන් සහේතුකව සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්වීමට අප සූදානම් බවත් ශාසනාලයෙන් යුක්තව දැනුම් දෙන්නෙමු.

ඉහත සිය`ඵ කරුණු Dilum Rathnayaka කළණ මිතුරාගෙන් උපුටා ගත් හෙයින් යමෙක් මේ කියවා කරුණු විමසා කටයුතු කරන්නේ නම්, හෝ ශාසන විනාශයන්ට තව දුරටත් දායක නො වන්නේ නම් ඉන් ජනිත වන සිය`ඵ කුශලයන් දිලුම් මහත්මාට ම වේවා යි පතන්නෙමු.

මෙත් සිතින්

බණමඩුව….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *