Uncategorized

උසස් පැවිද්දෙකු වීම

“උසස් පැවිද්දෙකු වීම……..”

 

පැවිද්දා ගේ ඒකායන පරමාර්ථය විය යුත්තේ නිර්වාණය යි. එය ගිහියාට ද එසේ ම පොදු වුව ද උපදින විට ගිහියන් විසින් එසේ ප්‍රතිඥාවක් දී නැත. එහෙත් පැවිද්දන් හිස බූ ගෑ පසුව චීවරය ඉල්ලන්නේ ද “සිය`ඵ දුකින් මිදීම නම් වූ නිර්වාණ ක්ෂාන්තිය උදෙසා මට මේ කහ සිවුර දී මා පැවිදි කරගන්නා සේක්වා” යි පැවිදි වාක්‍යය කියමිනි. එය පැවිද්දා ගේ උපතයි.

 

එසේ කියා චීවරය ඉල්ලා ගත් බොහොමයක් පැවිද්දන් හට කලක් යන විට එය අමතක වෙති. පසු වත් වත් ම ඔවුනට නිර්වාණයට වඩා වැදගත් කාරණා බොහෝ මතු වෙති.

 

සමහර පැවිද්දන් විහාරස්ථානයේ අභිවෘර්ධිය පතා ගෝලබාලයන් තැනීම්, විහාර ම`ඵ ඉදිකිරීම්, “ආසියාවේ ලොකුම එක තැනීම්” ආදී ඉවර කළ නො හෙණ කර්මාන්ත පටන් ගෙන පන්සලට එන එන ගිහියාගෙන් ආධාර ඉල්ලති. පැවිද්දා ගේ සිතෙහි ජනිත වන මේ කාම සංකල්පනාවන් සංතෘප්ත කර ගැනීම ගිහියන් ගේ පිට පටවති. මෙසේ කලක් ඉල්ලත් ඉල්ලත් ම ගිහියන්ට පන්සල ද එපා වෙති. එවන් පැවිද්දෝ පාරේ වඩිතත් ගිහියන් හනික ගොස් ගෙදර දොර වසා ගනිති. එක්කෝ ඇඳ යට හෝ අටුවේ හැංගෙති. අවසන දී “ලොවට උතුම් පින් කෙත ගමට ම පිළිලයක්” වෙති.

 

තවත් සමහර පැවිද්දන් ඉල්ලීම් කර ඒවා ගිහියන් ගෙන් ලබා ගත් විට පුණ්‍යානුමෝදනාවක් කිරීමට තරම් වත් නිහතමානී නො වෙති. “මොවුන් අපට දීමට බැඳී සිටිති” යි සිතන්නාක් මෙන් ලබා ගත් පසු නො සලකා හරිති. පැවිද්දාට සැලකීමට කිසිදු ගිහියෙකු ගේ පොරොන්දුවක් නැත. පැවිදි වන්නේ නම් අප සලකන්නේ යයි කලින් කරන ලද ප්‍රතිඥාවක් ද නැත. ගිහියා ගේ දාන පරමාර්ථය වනුයේ පින් සලකාගෙන ම පමණි.

 

සමහර විහාරස්ථානයන් හි ශාසනාභිවෘද්ධිකාමී ගිහියන් විසින් සමහර කටයුතු ස්වේච්ඡාවෙන් ම කරතත් නායක හිමිවරුන් ගෙන් එයට කිසිදු අනුබලයක් නැත. අනුබල දීම්, පැසසීම්, අනුශාසනා කිරීම් වෙනුවට “අපට වඩා උඩ යන්නට හදන්නේ ය” යි කියා බැණ වදිති.

 

පිරිස් මැද එකිනෙකා හා හැප්පි හැප්පී කටයුතු කිරීම සමහර පැවිද්දන් ගේ ආශාවකි. එවිට පිරිසෙන් ලැබෙන ප්‍රශංසා, නම්බුනාම ඉදිරියේ එවන් පැවිද්දෝ මලක් පිපුනා සේ ප්‍රභාවත් වෙති. උන්වහන්සේලාට කිසිත් නැතිනම් පන්සලේ සල්පිලක් වත් පැවැත්විය යුතුය. අල්ලාප සල්ලාපයේ යෙදී, ගිහියන් හා නුවුවමනා අයුරින් කටයුතු කරන මෙවන් පැවිද්දෝ ඥාති හිතමිත්‍රකම් පවත්වනු විනා ගිහියන්ගේ පරලොවට හෝ තමන්ගේ පරලොවට කිසිත් නො කරති.

 

ගිහියන් වන අපට වත් නැති තරමේ හීනමානයකින් සමහර පැවිද්දන් පෙළෙන බව අපට පසක් වන්නේ තමන්ගේ profile pics සතියකට දෙතුන් වතාව මාරු කිරීම, teddy bear බදාගෙන පින්තූර ගෙන ඒවා facebook දැමීම, ආදර සංකල්පනා පළ කිරීම් ආදියෙනි. මේ ඉතාමත් පහත්, තුච්ඡ, නින්දිත වූ එක් ස්ථරයකි.

 

තව පිරිසක් ධර්මය එහෙන් මෙහෙන් අතපත ගා මොන මොනවාදෝ කියති. “අරවා බොරුය, මේවා බොරුය” කියමින් පිරිසක් රැස් කර ගැනීමේ චේතනාවෙන් තම පණ්ඩිතකම පෙන්වන්නේ මෙතෙක් වැඩසිටි සඟ පරපුරට නිග්‍රහ කිරීමෙනි.

 

තවත් පිරිසක් විනය කාරණා එහෙන් මෙහෙන් ගෙන, වරදවා ගෙන, ඒවා කාලයේ තාලයට වෙනස් විය යුතු යැයි නන් දොඩති. ඔවුන්ට අනුව භාග්‍යවතුන් වහන්සේට මොවුන්ට තරම් නුවණක් තිබී නැත.

 

සමහර පැවිද්දන් ගැන කියන්නට ගියහොත් අපට එලිවනතුරු කථා කළ හැක. එහෙත් බොහෝ විට ඒවා අසභ්‍ය කථාවක් ම වන්නේ ය.

 

අපගේ ඒකායන පරමාර්ථය වනුයේ අධර්මවාදීන්ට එක හෙළාම නම් ගම් ප්‍රසිද්ධ කොට විරුද්ධ වීම වුවද එක් එක් පැවිද්දා ගේ පුද්ගලික ක්‍රියා පටිපාටීන් එසේ ප්‍රසිද්ධ කිරීමෙන් කිසිවෙකුටත් අර්ථයක් සිද්ධ නො වන්නේ ය. එහෙයින් උන්වහන්සේලා හා වෙන වෙනම කථාබස් කොට අපට හැකි පමණින් කරුණු කියා නිවැරදි මඟට ගැනීමේ වගකීමක් ගිහියා සතුවේ.

 

කියන කියන අධර්මයට “එහෙයි” නො කියා, වරද දුටු තැන පෙන්වා දෙන ගිහියන් ම වැරදි කරන පැවිද්දන් ගේ ව්නාශය වැළක්වීමට ද, ශාසනස්ථිතිය ආරක්ෂා කිරීමට ද කටයුතු කරන්නේ ය.

 

බුද්ධශාසනයා ගේ චිරස්ථිතිය ගිහියා ගේ පමණක් කාර්යභාරයක් නොවේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ වදාළ අයුරින් තථාගතයන් වහන්සේ ඒ වගකීම පවරන ලදුයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසික යන හතර වරිගයට ම ය. එසේ වුවද ගිහියා සතු අල්පශ්‍රැත බව ද, අවිවේකී බව ද, පැවිද්දන් මෙන් ධර්ම කරුණු මැනවින් හදාරා නැති වීම ද හේතුවෙන් පරවාද මථනය කිරීමේ දී යම් සීමාවකින් ඔබ්බට ඔවුන් ගේ උත්සාහය නිශ්ඵල වන්නේය. එපමණක් ද නොව පැවිද්දෝ නිසි ගුරුවරයකු යටතේ මනාව ධර්ම විනය හදාරා ලොවට දහම් දෙසුයේ නම් කිසිවෙකුටත් මැඬලීමට පරප්‍රවාදයක් ඉතිරි නො වන්නේ ය.

 

“සාගාරා අනගාරා ච

උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා

ආරාධයන්ති සද්ධම්මං

යෝගක්ඛේමං අනුත්තරං”

 

යි වදාළ ලෙසින් ගිහි පැවිදි උභය පාර්ශ්වය ම අන්‍යොන්‍ය නිශ්‍රිතව, ගිහියා පැවිද්දා ට ප්‍රත්‍යයෙන් සංග්‍රහ කරමින් හා පැවිද්දා ගිහියාට ධර්මයෙන් අනුශාසන කරමින් කටයුතු කෙරේ නම් දෙපාර්ශ්වයේ ම යෝගක්ෂේමය වන්නේ ය.

 

භාග්‍යවතුන් වහන්සේ පැවිද්දන් හට වදාළ යම් ප්‍රතිපදාවක් ඇත් ද ඉන් බැහැර වන්නේ නම් එය විනාශයක් ම ය. උන්වහන්සේ ට වැරදීම් නැත.

 

චිරං තිට්ඨතු සද්ධම්මෝ………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *